දැහැමි රාජ්‍ය පාලනය

දැහැමි රාජ්‍ය පාලනය
බුදුදහම හුදෙක් පරලොව දියුණුවට පමණක් අදාළවන්නක් නොවේ. එය පුද්ගලයාගේ මෙන් ම සමාජයේ ද ලෞකික දියුණුව පිළිබඳව ද කරුණු දක්වයි. ඒ සඳහා උපදෙස් ද ලබා දෙයි. රාජ්‍ය පාලනය පිළිබඳව එන ඉගැන්වීම් විමසා බැලීමේ දී ද ඒ බව පසක් වෙයි. රටක ප්‍රධාන පුරවැසියා වන්නේ එම රටේ පාලකයාය. ඔහුගේ ක්‍රියා කලාපය එම රටේ සෞභාග්‍යට හෝ විනශයට හේතු වේ. ඒ අනුව බුදු දහම අවධාරණය කරන්නේ පාලකයා සමාජ ආචර ධර්ම රකින, ධර්මික පිළිවෙත් අනුගමනය කරන්නෙකු විය යුතු බවයි. මීට අදාළ බෞද්ධ ඉගැන්වීම් අතර, 

* දස රාජ ධර්ම
* දස සක්විති වත්
* සප්ත අපරිහානී ධර්ම
* සතර අගතියෙන් වැළකීම
* සතර බ්‍රහ්ම විහාර
* සතර සංග්‍රහ වස්තු
* පඤ්චසීල ප්‍රතිපදාව

යන කරුණු සුවිශේෂ වේ. මෙ ම ඉගැන්වීම් මගින් බෞද්ධ රාජ්‍ය පාලනයක පැවතිය යුතු ශික්ෂණය, සදාචාරත්මක බව, සමගිය, සමෘද්ධිය, සමානාත්මතාව, නිදහස හා දැහැමි බව ද වෙසෙසින් අවධාරණය වේ. මේවා රාජ්‍ය පාලනයට පමණක් නොව එදිනෙදා ජීවිතයේදී ද වෙනත් පාලන කටයුතු වලදී ද ආදර්ශ ගත හැකි පිළිවෙත් ය. එ බැවින් ඒ පිළිවෙත් එකිනෙක මෙසේ විමසා බලමු.

දස රාජ ධර්ම 
දැහැමි පාලනයකට අවශ්‍ය වන එක් ඉගැන්වීමකි දසරජධර්ම. ඒවා පාලකයෙකු විසින් අනුගමනය කළ යුතු ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම දහයක් වශයෙන් හඳුන්වා දිය හැකිය.
- දානය
- සීලය
- පරිත්‍යාගය
- සෘජු බව
- මෘදු බව
- තපස
- අක්‍රෝධය
- අවිහිංසාව
- ඉවසීම
- අවිරෝධතාව හෙවත් නොගැටෙන සුලු බව
මෙම ගුණධර්ම වලින් දානය යනු දීමයි. එහෙත් මෙයින් ආගමික මුහුණුවරකින් කරන පින්කමක් ම අදහස් නොකැරේ. රටවැසියන් උදෙසා ආහාර පාන, ඇඳුම්, පැළඳුම්, සනීපාරක්ෂක පහසුකම්, අධ්‍යාපනය ආදී අවශ්‍යතා සපයා දීම මින් අදහස් වෙයි.එසේම කෘෂි කර්මාන්තය සඳහා ගොවීන්ට අවශ්‍ය මූල බීජ, පොහොර, ගොවි බිම් ආදිය ලබා දීමත්, වෙළඳ කටයුතු සඳහා වෙළඳුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දීමත් සුදුසුකම අනුව රාජ්‍ය සේවයට බඳවා ගැනීමත් මෙහි දී දානය ලෙස හැඳින්විය හැකිය. කිසියම් පාලකයෙක් එසේ නොකරයි නම් එම රට තුල සොරකම, මංකොල්ලකෑම, මනුෂ්‍ය ඝාතනය හා දේශපාලන අස්ථාවර භාවය ඇති වීම නොවැළැක්විය හැකිය. මේ නිසා ලෞකික ආර්ථික දියුණුව ඇති කිරීමට ද පාලකයා විසින් දාන ප්‍රතිපදාව අනුගමනය කළ යුතු බව පැහැදිලි වේ.
සීලය - යනු පාලකයා චරිතවත් පුද්ගලයෙකු වීම යි. එ නම් යුක්තිගරුක ව, ස්ථීර අධිෂ්ඨානයෙන් වැරදි ක්‍රියාවන්ගෙන් ඉවත් වී ක්‍රියා කිරීමයි.
පරිත්‍යාගය - යනු රට, ජාතිය, ආගම වෙනුවෙන් විශේෂ මෙහෙවරයන්හි නිරත වන පුද්ගලයන්ට හා ආයතන වලට කළ මෙහෙය ඇගයීම සඳහා ලබාදෙන විවිධ ත්‍යාගයන්ය.
සෘජු බව - යනු ජනතා ප්‍රශ්න වලදී පාලකයා පක්ෂග්‍රාහී නොවී සතර අගතියෙන් ඉවත් වී අවංකව යුක්තිය ඉටු කිරීම යි.
මෘදු බව - යන්නෙන් අදහස් කරන්නේ දරුණු නොවීමයි. එනම් ඒ ඒ අවස්ථාවට ගැළපෙන ජනතා හිතවාදී මෘදු පාලන ක්‍රමයක් පවත්වාගෙන යෑමයි.
තපස - යනු ආවේගශීලී නොවී කටයුතු කිරීමයි. පාලකයාගේ මානසික ශික්ෂණයයි.
අක්‍රෝධය - නම් සියලු රට වැසියන් තම දරුවන් සේ සලකා කටයුතු කිරීමත් ඔවුන්ට ක්‍රෝධ නොකර තම පාලන කටයුතු මෙහෙයවීමත් ය.
අවිහිංසාව - යන්නෙන් අදහස් කර ඇත්තේ රටවැසියා හින්සාවට පීඩාවට පත් කරවන පාලන පිළිවෙත් පිටුදැක දැහැමින් සෙමෙන් කටයුතු කිරීමයි.
ඉවසීම - නම් ක්ෂණික තීරණ නොගෙන ආචාරශීලී ව බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමයි. 
විරෝධාකල්ප වලින් තොරව ජනතා හඬට සවන් දී ඔවුන්ට කාරුණික වීම අවිරෝධී තාව හෙවත් නොගැටෙන සුලු බව යි. එය දස වැනි රාජධර්මයයි. මේ අනුව දස රාජධර්ම තුළින් රටක සාමය සමගිය හා සදාචාරය ගොඩනැගුණු සමෘධිමත් රටක් බිහි කිරීමට අවශ්‍ය ඉගැන්වීම් දැක්වෙන බව පැහැදිලිය.

දස සක්විති වත්
පාලකයකු ජනතා හිතවාදී පාලන ක්‍රමයක් ගොඩ නගා ගැනීමට අනුගමනය කළ යුතු බෞද්ධ ප්‍රතිපත්ති දහයක් දස සක්විති වත් ලෙස නම් කර ඇත. ඒවා,
1. තමා දස කුසල කර්ම කරමින් ධර්මයෙහි පිහිටා ධර්මානුකූලව අඹුදරුවන් ද එහි පිහිටුවීම හා ඔවුන්ට කළ යුතු සංග්‍රහ කරමින් රැක බලා ගැනීම
2. තම බල සේනාව ද නිසි පරිදි සංග්‍රහ කොට ආරක්ෂා කිරීම
3. රාජ්‍ය තාන්ත්‍රිකයන් නිසි පරිදි සංග්‍රහ කොට ආරක්ෂා කිරීම
4. බ්‍රහ්මණ ගෘහ පතියන් ද නිසි පරිදි සංග්‍රහ කොට ආරක්ෂා කිරීම
5. ගම් දනව් වැසියන් ද නිසි පරිදි සංග්‍රහ කොට ආරක්ෂා කිරීම
6. මහණ බමුණන් ද එසේ සංග්‍රහ කොට ආරක්ෂා කිරීම
7. සිවුපා, පක්ෂි ආදීන්ට අභය දානය දී ආරක්ෂා කිරීම
8. තම රටෙහි අධාර්මික ක්‍රියා සිදු නොවන අයුරින් ක්‍රියා කිරීම
9. දිළිඳු ජනයාට ධනය ලබා දෙමින් රැක බලා ගැනීම
10. සිල්වත් මහණ බමුණන් කරා ගොස් අවවාද අනුශාසනා ලබා ගැනීම 

යනුවෙන් පෙන්වා දී ඇත. මෙම ශ්‍රේෂ්ඨ වූ පිළිවෙත් දහය අනුගමනය කිරීමෙන් පාලකයා පරමාදර්ශී ජනහිතකාමී උතුම් කෙනෙක් බවට පත් වෙයි. මෙහි දැක්වෙන කරුණු වලින් සමාජයේ ඇති වන යහපතක් නම් පාලකයා රටේ ද ජනතාවගේ ද සතුන් සිව්පාවන්ගේද ආරක්ෂකයා වීමය. ඒ අතර මහණ බමුණන්ට රැකවරණය සැලසීම ආගමික වශයෙන් පාලකයා දක්වන අනුග්‍රහයයි. නීතිය හා සාමය පවත්වා ගැනීම පිළිබඳ අටවන කරුණින්ද ආර්ථික ස්මෘද්ධිය ඇති කිරීම නව වැනි කරුණින්ද උගන්වයි. අත්තනෝමතිකව ක්‍රියා කිරීමෙන් වැළකී ජනහිතකාමී පාලනයක් ගෙන යාම දහවන කරුණින් පැහැදිලි කෙරේ. මේ සියල්ල සංක්ෂිප්ත ව සැලකීමේදී,
* ධාර්මික රාජ්‍ය පාලනය
* ජන ජීවිත හා අනෙකුත් සත්ව ජීවිත සුරක්ෂිත කිරීම
* ආර්ථික සමෘද්ධිය ගොඩ නැගීම
* පිදිය යුත්තන් පිදීම හා අවවාද ගරු කොට සැලකීම
, වශයෙන් දැක්විය හැකිය.

සප්ත අපරිහාණිය ධර්ම
බුද්ධ කාලීන වජ්ජි සමූහාණ්ඩුවේ ස්ථාවරබව පැවැතියේ සප්ත අපරිහානීය ධර්ම නිසාය. ඒවා වජ්ජින්ට හඳුන්වා දෙනු ලැබුයේ බුදුරජාණන් වහන්සේ විසිනි. ධර්මික රාජ්‍ය පාලනයකට සප්ත අපරිහාණී ධර්ම ද මහඟු පිටුවහලකි. එම අපරිහානීය ධර්ම හත මෙසේය.
1. නිතර නිතර රැස්වීම
2. සමඟියෙන් රැස්ව සමඟියෙන් ක්‍රියා කොට සමඟියෙන් විසිර යාම
3. නොපැනවූ නීති නොපැනවීඑම, පැන වූ නීති කඩ නොකිරීම
4. වැඩිහිටියන්ට ගරු කිරීම
5. විවාහ නොවූ කුල කුමරියන්ට ආරක්ෂාව සැලසීම
6. වජ්ජි ජනපදයෙහි හා පිටත පූජනීය ස්ථාන වලට ගරු කිරීම
7. තම ජනපදයට පැමිණෙන රහතන් වහන්සේට පහසුකම් හා ආරක්ෂාව ඇති කිරීම

මෙමෙ කරුණු හත රාජ්‍ය පාලකයා හෝ ආයතනයක ප්‍රධනියෙකු අනුගමනය කරන්නේ නම් එහි දී නීතිය, සාමය, සාධාරණත්වය හා ආගමික දියුණුව ද සැලසෙන බව පැහැදිලි වේ. මෙහි එන කරුණු හතෙන් පළමුවැන්න හා දෙවැන්න රටක හා සමාජයක සාමය ඇති කරවීමේ පණිවුඩය ලබා දේ. තුන්වැනි කරුණ පැහැදිලි කර දෙන්නේ නීතිය ඉදිරියේ සාධාරණත්වය ඉටු කිරීමය. හතරවැනි හා පස්වැනි කරුණු පසක් කර දෙන්නේ සදාචාරත්මක බව යි. හය සහ හත යන කරුණු දෙක පාලකයා සතු ආගමික කාර්ය භාරය මැනවින් පැහැදිලි කරයි. මේ අනුව සප්ත අපරිහාණීය ධර්ම පාලන තන්ත්‍රයට එක් කර ගැනීමෙන් දැහැමි පාලනයක් ගොඩ නැගෙන බව ඉගැන්වේ. රටවැසියාට විශ්වාසනීයත්වයෙන් හා සාමයෙන් පිරුණු රටක හෝ ආයතනයක කටයුතු කිරීමට ඉඩ සැලසෙන බවත් පැවසිය හැකිය.

සතර අගතියෙන් වැලකීම
පාලකයා කවර කරුණක දී වුව ද අන්තගාමී වන්නේ නම් එ වැනි රටක සාධාරණය, යුක්තිය කිසිඳු අයුරකින් ඉටු නොවේ. මේ නිසා ජනතා සුභ සිද්ධිය අපේක්ෂා කරන පාලකයා සතර අගතියෙන් වැළකී පාලන කටයුතු මෙහෙයවිය යුතුය.
ඡන්දය, ද්වේෂය, භය, මෝහය
යන කරුණු හතරින් අන්තගාමීව කටයුතු කරන පාලකයා අව පක්ෂයේ සඳ මෙන් පිරිහීමට පත් වේ. අන්තගාමී නොවන්නා පුර පක්ෂයේ සඳ මෙන් අභිවෘද්ධියට පත් වේ. මෙහි ඡන්දය යනු යම් යම් දෑ පිළිබඳ පුද්ගල කැමත්තයි. ස්වතන්ත්‍රව ගනු ලබන තීරණ හා කළ යුතු නොකළ යුතු දේ සර්ව සාධාරණත්වය ඉටුවන අයුරින් නිවැරදි තීරණ ගැනීම අගතියෙන් වෙන් වීමකි. එ බැවින් ලැභ, ප්‍රයෝජන, ඥාති සම්බන්ඩ්ධතා සිය රුචි අරුචි කම් හා පක්ෂපාතිත්වය සලකා තීරණ ගන්නේ නම් එය ඡන්දයෙන් අගතියට යාමකි. එ බැවින් සුදුස්සාට සුදුසු තැන ලබාදී අපක්ෂපාති ව කටයුතු කිරීම යහපත් පාලනයකට මග සලසන බව බුදු දහම උගන්වයි.
යුතුකම්, සුදුසුකම් හා සාරධර්ම පිළිබඳ යථා අවබෝධය නොමැතිව සමගිය හා සාමදානය පිටුදැක කටයුතු කිරීම ද්වේෂයයි. රට වැසියා හෝ නිළධාරීන් වැරදි කරන විට දඬුවන් පැමිණවීම ඔවුන්ගේ අභිවෘද්ධියට හේතු වන පරිදි සිදු කළ යුතුය. එසේ නොමැතික්ව පාලකයා දැඩි අන්තවාදී දූෂිත මනෝභාවයකින් හෙබි පුද්ගලයෙකු නම් ඔහු තුළ මධ්‍යස්ථ සිතුවිලි ඇති නොවේ. එ බඳු දූෂිත පාලනයක් තුල ජනතාව පීඩාවට පත් වේ. යහපත් පාලනයක් සඳහා ද්වේෂය පිටුදැකිය යුතු බව බුදු දහම අවධාරණය කරයි.
පාලකයා සෑම විටම මැති ඇමැති ගණයා වෙත ද සෙසු නිලධාරීන් ගැනද, වෙනත් පාලකයක් ගැනද මහත් භීතියකින් පසු වීම භය ලෙස හැඳින්වේ. එහෙත් විශ්ෂ්ට චරිතයක් ඇති පාලකයා කිසිඳු විටෙක බිය නොවේ. හෙතෙම බුද්ධිමත්ව කටයුතු කරයි. භය ඉස්මතු වන්නේ ආත්මාර්ථය නිසා ය. එ බැවින් බියෙන් පසු වන පාලකයා ජනතාවද නිලධාරීන්ද අයථා ලෙස පෙළීමට පත් කරන හෙයින් බුදු දහම භය අගතියක් ලෙස උගන්වයි.
රාජ්‍ය පාලනයේදී පාලකයාට තීක්ෂණ බුද්ධියක් තිබීම අත්‍යවශ්‍ය වූ දෙයකි. එබැවින් ඔහු මෝහය හෙවත් මුළාව මුලිනුපුටා දැමිය යුතුය. මෝහය සියලු වැරදි ක්‍රියාවන්ට මුල් වන අකුසල මූලයක් හෙයින් එය අගතියක් ලෙස බුදු දහම උගන්වයි. පාලකයා බුද්ධිහීන, අඥාන මෝඩයෙකු නම් ඔහුට යහපත් පාලනයක් ගෙන යාම ඉතාමත් අපහසු ය. යුක්තිය-අයුක්තිය යහපත-අයහපත වටහා ගැනීමට පාලකයෙකු මුළාවෙන් තොර විය යුතුය. එයින් අගතියට නොයා යුතුය.

සතර සංග්‍රහ වස්තු
සාර්ථක දැහැමි රාජ්‍ය පාලනයක් සඳහා අවශ්‍ය වන තවත් පිළිවෙතක් නම් සතර සංග්‍රහ වස්තු අනුගමනය කිරීමය.
දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව
යනු ඒ හතරයි. මෙයින් දානය පිළිබඳව දසරාජ ධර්ම වලදී විස්තර කර ඇත. රාජ්‍ය පාලනයේ දී අවශ්‍ය වන අනෙක් වැදගත් අංගය වන්නේ රාජ්‍ය පාලකයා ප්‍රිය වචන කථා කිරීමයි. ජනතාව බොරුවෙන් චාටුවෙන් මුළා කිරීමට පාලකයෙකුට අයිතියක් නැත. සැම විට ම බුදු දහම සත්‍ය වාදීත්වය අගය කරන බැවින් පාලකයා ජනතා සුභ සිද්ධි සඳ මිහිරි වදන් ප්‍රකාෂ කළ යුතු යි. එ විට ජනතාව මොහු වෙත ඇදී එති. අර්ථචර්යාව යනු පරාර්ථ චර්යාව යි. බෞද්ධ පිළිගැනීම වන්නේ රාජ්‍යත්වය යනු ජනතා සේවයෙහි සංකේතයක් බවයි. එහි දී පාලකයා කාය බලය හා බුද්ධි බලය උපරිම වශයෙන් වැය කොට පරාර්ථ චර්යාවෙහි නිරත වෙයි. රට වැසියන්ට මහඟු සේවයක් කිරීම රජතුමාගේ පරම යුතුකම වෙයි. එසේ කරන විට ඔහු තුළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ ප්‍රගුණ වෙයි. එවැනි මානසික තත්වයක් ඇති පාලකයා ජනතාව තම දරුවන් සේ සලකා ක්‍රියා කරන්නෙකි.
සමානාත්මතාව යනු දුක සැප දෙක සම සම ව බෙදා ගෙන ජීවත් වීම සහ කුලය, ජාතිය, ආගම, භාෂාව, වර්ණය ආදිය නොසලකා සියලු දෙනාට සමානව සේවය කිරීමයි. දැහැමි පාලකයා ද සෑම විටම මෙම ලක්ෂණ වලින් පොහොසත් විය යුතු බව බුදු දහම අවධාරණය කරයි. මේ අයුරින් ක්‍රියා කරන බෞද්ධ පාලකයා පඤ්චසීල ප්‍රතිපදාව රැකීම නිසා ද තව දුරටත් ධර්මික වේ.
1. ජීවත්වීම පිළිබඳ ඇති අයිතිය පිළිගෙන ආරක්ෂා කරයි
2. සම්පත් වල සුරක්ෂිතතාව පිළිබඳ ඇති අයිතිය පිළිගෙන ආරක්ෂා කරයි
3. නිරවුල් ව විවාහ ජීවිතයක් පවත්වා ගෙන යාමේ ඇති අයිතිය පිළිගෙන ආරක්ෂා කරයි.
4. රැවටිලිවලට හසු නොවී ජීවත් වීමට ඇති ඇයිතිය පිළිගෙන ආරක්ෂා කරයි.
5. නිරෝගී, බුද්ධිමත්, සාමකාමී ජීවිතයක් ගත කිරීමට ඇති අයිතිය පිළිගෙන ආරක්ෂා කරයි

දැහැමි ප්‍රතිපදාවෙන් යුක්ත වන පාලකයෙකු ජනතාව සැම විටම අපේක්ශා කරන බව "රාජා භවතු ධම්මිකෝ" යන ප්‍රර්ථනාවෙන් ද පැහැදිලි වේ. එ බැවින් සදාචාර සම්පන්න දැහැමි පාලනයක් තුල ජනතාවගේ ප්‍රර්ථනා ඉටු වන දැහැමි රජ්‍යයක් ගොඩ නැගීමට අපි සියලු දෙනා ම ඇප කැප වෙමු.

*****ධම්ම දාන පිටුවට එක් කරන්න දහම් කරුණු සොයන මොහොතක අහම්බු ලෙස මා සතුව තිබූ 2009 සා/පෙළ විශය නිර්දේශයට අදාල බුද්ධධර්මය පෙළ පොත අධ්‍යනයේදී කාලීන මාතෘකාවක් සහ සමාජ අවශ්‍යතාවක් ඇති මාතෘකවක් ලෙස මෙම මතෘකාව උපුටා ගතිමි. සියලු කරුනු පෙළපොතේ සඳහන් අයුරින්ම දක්වා ඇති අතර නුවණැති ඔබගේ අවධානය හා දැනුම පිණිසත්, විචාරය පිණිසත් පළ කරමි.*****

Comments

Popular posts from this blog